Nov 11, 2012

සීගිරිය, ආලකමන්දාවට දකුණු දෙසින් පිහිටි මාලිගාකන්දේ දැවැන්ත ගලක් පුපුරවමින්


සීගිරිය, ආලකමන්දාවට දකුණු දෙසින් පිහිටි මාලිගාකන්දේ දැවැන්ත ගලක් පුපුරවමින් කාශ්‍යප රජුන්ගේ මැණික් එබ්බ වූ රන් ඔටුන්න ලබා ගැනීමට නිධන් හෑරූ සැකකරුවකු සීගිරිය සහ මින්නේරිය වනජීවි සහ සිවිල් ආරක්ෂක භටයින් විසින් අද (02) අළුයම අත්අඩංගුවට ගෙන තිබේ. තවත් සැකකරුවන් පස් දෙනෙක් වන නිලධාරීන්ගෙන් බේරී පළා ගොස් ඇත.

මෙම ස්ථානය පිහිටා ඇත්තේ ආලකමන්දාවට දකුණු දෙසින් කිලෝ මීටර් 04ක් පමණ දුරින් ඝන වනාන්තරයක් මැද්ද
ේය. මීට දින කිහිපයකට පෙර සීගිරිය සහ මින්නේරිය වනජීවි නිලධාරීන්ට මාලිගාකන්දේ යම් ස්ථානයක පිරිසක් නිධන් හාරමින් සිටින බවට තොරතුරු ලැබී තිබේ.

ඒ අනුව වනජීවි නිලධාරින් සහ සිවිල් ආරක්ෂක භටයින් දින දෙකක් තිස්සේ කළ මෙහෙයුමකින් පසු මෙම ස්ථානය සොයා ගෙන ඇති අතර සැකකරුවන් වටලා අල්ලා ගන්නට සූදානම් වූ අවස්ථාවේ පස් දෙනෙක් වනයට වැද පළා ගෙස් ඇත. එක් සැකකරුවෙක් අත්අඩංගුවට පත් වී තිබේ.

නමුත් මෙම සැකකරුවාගේ අනන්‍යතාව තහවුරු කරගත හැකි කිසිම ලිඛිත සාක්කියක් මොහු සතුව තිබී නැත. කාශ්‍යප රජුන්ගේ මැණික් එබ්බ වූ රන් ඔටුන්න පිළිඹඳ ලද ඔත්තුවක් මත මෙම ස්ථානයේ නිධන් හෑරූ බව පමණක් මොහු විසින් පවසා තිබේ. මෙම සැකකරු ළඟ තිබී කෑගල්ල, දේවාලගම ප්‍රදේශයේ යකඩ බඩු කඩයකින් සරත් කුමාර නැමැත්තෙකුට වතුර මෝටරයක් අලෙවි කළ රිසීට් පතක් පමණක් තිබී සොයා ගෙන ඇත.

මොවුන් වාඩි ගසා ගෙන සතියක් පමණ තිස්සේ මාලිගාකන්දේ දැවැන්ත ගලක් වරින්වර පුපුරවමින් නිධන් හාරමින් සිට ඇති බව පරීක්ෂණවලදී පෙනී ගොස් ඇත. වනජීවි නිලධාරීන් එම වාඩි ගිනි තබා විනාශ කර ඇත. එම වාඩියේ තිබී වතුර මෝටරයක්,ජෙලග්නයිට් කූරු,සේවා නූල්,රෙදිපිළි,සති කිහිපයකට සරිලන ආහාර ද්‍රව්‍ය, කැණීම් සඳහා යොදා ගන්නා ගල් කටු,උදළු,පොරෝ,සවල් ඇතුළු භාණ්ඩ රාශියක් අත්අඩංගුවට ගෙන ඇත. මාලිගාකන්ද ගලේ අඩි අටක් පමණ ගැඹුරු අඩි දහයක් පමණ පළල ආවාටයක් මොවුන් විසින් සාරා ඇත. ඒ සඳහා ජෙලග්නයිට් කූරු යොදා ගල පුපුරවා හැර ඇත. මීට වසරකට පමණ පෙරත් මෙම ගල කණිමින් පිරිසක් කාශ්‍යප රජුන්ගේ රන් ඔටුන්න සොයා ඇති අතර ඔවුන්ද වනජීවි නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.