Nov 12, 2012

දිට්ඨධම්මවේදනීය කර්මය පලදෙන හැටි...

කොට්ටේ භික්ෂු ඝාතකයා වැලිකඩදී වෙඩි වැදී මිය යයි.
දිට්ඨධම්මවේදනීය කර්මය පලදෙන හැටි...

පසුගිය සිකුරාදා වැලිකඩ බන්ධනාගාරයේදී ඇති වූ කැරැල්ලේදී මියගිය සිරකරුවන් අතර, පසුගිය මාර්තු 20 වැනි දින රාත්‍රී කොට්ටේ රජමහා විහාරයට ඇතුළුවී පිටිගල ජිනසිරි පණ්ඩිත හිමියන්ට සහ බොරලැස්ගමුවේ ගුණරතන හිමියන්ට පිහියෙන් ඇන ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රධාන සැකකරු වන බව පොලීසිය පවසයි. එසේ මරුමුවට පත්
 වූයේ පී. හර්ෂ ශ්‍රී මනිකීර්ති පෙරේරා හෙවත් මංජු ශ්‍රී හර්ෂ නමැත්තායි. ඔහු සැ.ක 662 ලෙස බන්ධනාගාර සිරකරු ලේඛණයේ දැක්වේ. 

"සිරකරුවෝත් මනුෂ්‍යයෝය" මේ බන්ධනාගාරයේ තේමා පාඨයයි. එය එසේ නම් විෂම සමාජ ක්‍රමය නිසාම වැරදිකරුවන් වූ උන් අවසානයේ සිරගෙය තුළම බල්ලන් බළලුන් සේ මිය යනවානම් එයද ඛේදවාචකයකි. ‍මෙම සිදුවීමට තුඩු දුන් කරුණු කාරණා කෙසේ වෙතත් මියගිය වුන් නෙලාගත්තේ තමන් වැපිරූ දෙයෙහිම අනිටු ප්‍රතිපල බව නම් නොකිවමනාය. යම් දිනක කවරකු හෝ තමන් කළ ක්‍රියාවේ පල විපාක කවරාකාරයෙන් හෝ ඔවුන්ට අත්විදින්නට සිදුවීම අනිවාර්යය. (හොද නම් හොද ප්‍රතිපල, නරක නම් නරක ප්‍රතිපල)එය කර්මය හෙවත් ලෝක සවභාවයයි. ඕනෑම දෙවියෙකුට, බඹෙකුට, ඕනෑම ජීවියෙකුට පොදු සවභාව ධර්මය එයයි. මීට ටික කලකට පෙර මුලුමහත් ලාංකික බෞද්ධ ජනතාවම කම්පාවට පත් කළ කොට්ටේ භික්ෂූන් වහන්සේලා ඝාතකයන්ටත් මෙසේ අත්විදින්නට සිදුව ඇත්තේ ඔවුන් කළ ක්‍රියාවේ ප්‍රථිපලය ම බව නොකිව හැකිද. අර්හත් ධජය දරා සිටින භික්ෂුන් වහන්සේලාගේ ලේ සෙලවීමත්, බුද්ධාදී උතුමන්ට සාහසික ලෙස අපහාස කරන උදවියටත් කවර හෝ අවස්ථාවක අත්විදින්නට සිදුවන ඛේදනීය ඉරණම මෙයයි. 

බුදුරජාණන් වහන්සේ පිහිට කර ගත් ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි කර්ම කර්මඵල පිළිබඳ විශ්වාසය ඇති කරගනියි. චේතනාත්මක ව අප කයින් කරන වචනයෙන් කියන සිතින් සිතන දේ කර්මය යි. ඒ අනුව කර්මය, කායකර්ම , වචීකර්ම, මනෝකර්ම වශයෙන් ත්‍රිවිධ වේ. චේතනාත්මක ව සිදු කරන හොඳ (කුසල) නරක (අකුසල) කර්ම අනුව ඊට අනුරූප වන විපාකයක් (ප්‍රතිඵලයක්) ජනිත වීම කර්ම නියාමය යි. කෙනෙකු සිදු කරන කර්මවලින් ඇතැම් කොටසක් මේ ජීවිතයෙහි දීම විපාක දෙන අතර එයට ‘දිට්ඨධම්මවේදනීය කර්මය’ යයි කියනු ලැබේ.

කෙනෙකු සිදු කරන කර්මවලින් තවත් කොටසක් අනතුරු ජීවිතයෙහි දී විපාක දෙන අතර එයට ‘උපපජ්ජවේදනීය කර්ම’ ය යි කියනු ලැබේ.කෙනෙකු සිදු කරන කර්මවලින් තවත් කොටසක් මතු දෙවන ජීවිතයෙහි පටන් පරිනිර්වාණය දක්වා විපාක දෙන අතර එයට ‘අපරාපරියවේදනීය කර්ම’ ය යි කියනු ලැබේ. ඒ අනුව චේතනාත්මක ව සිදු කරන කුසල අකුසල කර්ම වඳ නො වන බවත් අවස්ථාවලත් කල්හි විපාක දෙන බවත් ධර්මයට අනුව පැහැදිලිය. එනිසා කයින් වචනයෙන් දුශ්චරිතයන්හි යෙදෙන්නවුන්ට අවස්ථානුකූ®ල ව එහි දුක් විපාක ලැබෙන බැවින් එම දුශ්චරිතයන්ගෙන් වැළකීම මෙලොව පරලොව දෙලොව සැප ලැබෙන මඟක් වේ. 

"කරන කලට පව් මීරිය මීසේ, විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ,
ඇඳින එපව් දුරලන උපදේසේ, නුදුන මැනවි තුන්දොර අවකාසේ..."

දැනගන්න කර්මය ගැන.
විමුක්තිය ලැබිය හැක්කේ කර්ම බන්ධනාගාරයෙන් නිදහස් වීමෙනි