Oct 31, 2012

ඉන්දියාවක්, බංගලාදේශයක්, මියන්මාරයක් මේ සිරිලක් දෙරණ තුළ අපට කිසිසේත්ම අවශ්‍ය නැත

වසර තුනකට එහා අපේ ඉතිහාසයේ තිබුණේ කිසිදා අමතක නො වෙන බියකි. දේශයේ අයිතියට පොර බැදු කුරිරු ත‍්‍රස්තවාදයෙන් අපි තිස් වසරක් මුළුල්ලේ බැට කෑවෙමු. නිවසින් පිටව ගොස් යළි නිවසට පැමිණීම අවිනිශ්චිත වූ ඒ යුගයේ හාත්පස වෙළා ගත් මරණ බියෙන් පීඩිත නො වූවෙක් නැත. සියල්ලන් තලා පෙළා දැමූ ඒ අමිහිරි යටගියාව වළලා දමා අප යාන්තමින් හිස ඔසවන්නට පටන් ගත්තා පමණි. නමුත් අද සිදුව ඇත්තේ ඒ ත‍්‍රස්තවාදය ඉක්මවා යන දරුණු ආගම්වාදයක් නිර්මාණය වී ම ය.


ඕනෑම පුද්ගලයෙකුට ආගමික නිදහසක් හිමි ය. ඒ නිදහස ඇත්තේ තම ආගම පිළිපදින්නට මිස ආගම රැකීමේ අරමුණින් වෙනත් ආගමකට එරෙහිව අවි ඔසවන්නටවත්, වෙනත් ආගම් අතු ගා දමන්නටවත් නො වේ. නමුත් ඒ ආගමික නිදහස අයුතු ලෙස ප‍්‍රයෝජනයට ගනිමින් බොහෝ දෙනෙකු දත කෑවේ මේ සිංහල බෞද්ධ දේශයේ පණ නැගූ හෙළ බොදු පිළිවෙත මකා දමන්නට ය.


සර්වාගමික පනත ඒ වෑයමේ එක් මුහුණුවරකි. සියලූ ආගම්වල හරය එකක් ලෙස දකින්නට බල කළ සර්වාගමික පනත හකුළා ගතයුතු බව අප මුල සිටම කියා සිටියේ ඒ නිසා ය.
වර්තමානයේ බෞද්ධයන්ට බොහෝ අකටයුතුකම් සිදුවන බව සැබෑවකි. ඒ අකටයුතුකම්හි අරමුණ බුදු දහම තුරන් කිරීම ය. මේ දහම වියැකෙන්නේ දහමේ හැසිරෙන්නවුන් නොමැති වීමෙන් මිස හිංසා පීඩා ආදියෙන් නොවන බව ඔවුන් දන්නේ නැත.
එවන් අමනෝඥ වැඩපිළිවෙළකට, ‘අවියට අවිය’ න්‍යායෙන් පිළිතුරු සපයන්නට යාම තුළින් සිදු වෙන්නේ ආගම් යුද්ධයක් දක්වා අප තල්ලූ වීම ය. නීතිය අතට ගැනීම යනු බුද්ධ දේශනාව නො වේ. රාජ්‍යත්වයට අවවාද කිරීම කළ යුතු වූ භික්ෂුව, දේශපාලනය හරහා බෞද්ධ ප‍්‍රතිපත්තියෙන් බැහැර වී අන් ආගම් හෙළාදකිමින්, විවේචනය කරමින් මේ යන ගමනේ අවසානය කුමක්ද?
අන් කිසිදු ආගමක අනුගාමිකයන් බෞද්ධයන් තරම් නො ඉවසයි. එය බුදුදහමෙන් ජනිත කළ මානව හිතවාදී ප‍්‍රවේශය යි. එවන් පරිසරයක් තුළ බෞද්ධ යැයි කියාගන්නා ඇතැම් පිරිස් මූලික වී සිදුකරනා මේ ආගමික හෙළාදැකීම්, තර්ජනයන් සහ ඝට්ටනයන්ගේ කෙළවර වන්නේ, වටිනා මිනිස් ජීවිත දහස් ගණනින් බිලිගන්නා තවත් බිහිසුණු ආගමික ත‍්‍රස්තවාදයක් විය නො හැකි ද?
ධර්මය ඇත්තේ ඒ සඳහා නො වේ. ධර්මවිජය කළ යුතු තැන දිග්විජය තෝරා ගැනීම කෙතරම් නම් ග‍්‍රාම්‍ය කි‍්‍රයාවක් ද? ධර්මාශෝක යුගයේ සිට පැමිණි ඒ පණිවුඩය අප බැහැර කළ යුතු ද?
ඉවසීම සහ නුවණින් කටයුතු කිරීම ගැන භාග්‍යවතුන් වහන්සේ තරම් අන් කිසිවෙක් නො දත්තේ ය. නො වදාළේ ය. වර්ණනා නො කළේ ය. පහර දීම ඉදිරියේ පෙරළා පහර දීම විසඳුම කර ගැනීමෙන් සැබෑවට ම පහර වදින්නේ අපට ය. මන්ද අප ගසන ගසන පහරක් පාසා අප බැහැර වෙන්නේ ඉවසීම ශ්‍රේෂ්ඨතම තපස ලෙස අර්ථ ගැන්වූ සම්බුදු පිළිවෙතින් වන නිසා ය.
තවත් ඉන්දියාවක්, බංගලාදේශයක්, මියන්මාරයක් මේ සිරිලක් දෙරණ තුළ අපට කිසිසේත්ම අවශ්‍ය නැත. අපි තිස් වසරක් මුළුල්ලේ ගින්නෙන් හොඳ හැටි බැට කෑවෙමු. කණමැදිරි එළියටත් තිගැස්සී බියවන්නේ එහෙයිනි!